Sunday 18 February 2024

2024 නව පෙරැළිය

2024 පෙබරවාරි මස 17 වැනිදා අඹයහළු සංසදයේ සමිති වාරය පැවතියේ කමල් චන්දන මහතාගේ නිවසේදීය. ප.ව. 7 ට සමිතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණද, සාමාජිකයින් ගේ පැමිණීම මඳක් පමා වීම නිසා, සමිතිය ආරම්භ කෙරුනේ ප.ව. 7.30 ට පමණය. කමල් මහතාගේ නිවසට ගොඩ වැදුණු මොහොතේ පටන් මගේ සිත කලකට නොවිඳි තරම් සහනශීලී හැඟීමක් ඇති වී තිබුණේ කමල් මහතාගේ නිවස පුරා පුංචි දූ පුතුන් ඔබ මොබ සැරි සරනු දැකීමෙනි. ඉතාම සුරතල් පුංචි පුතා මා සමඟත් අප සංසදයේ වැඩි දෙනෙක් සමඟත් ඉතා කුළුපගව තම සුරතල් විදහා දැක්වීය. 


2022 වසරේ සංශෝධිත අයවැය වාර්තාව, 2023 වසරේ අය වැය වාර්තාව සහ 2024 ජනවාරි අය වැය වාර්තාව භාණ්ඩාගාරික වන මම සභාවට ඉදිරිපත් කළ නමුත්, ආයෝජන අංශයේ ඉදිරිපත් කළ අගයයන් වල ඇති දෝෂයක් හේතුවෙන් ඒවා නැවත සංශෝධනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් විය. 

ආයෝජන අ‍ංශයේ අයවැය වාර්තාව ජයසිරි ලසන්ත මහතා විසින් ඉදිරිපත් කරණ ලදී. 

සාමාජික මුදල් වල හිඟ සහ ආයෝජන අංශයෙන් ලබා ගත් ණය වල හිඟ ගැන තරමක් වේලා සාකඡ්ඡා කළ අතර, චන්ද්‍රසේන මහතා ආයෝජන අංශයේ ණය වල සම්පූර්ණ හිඟ මුදල සහ ණය මුදල ලබන සමිති වාරයේ දී ගෙවීමට පොරොන්දු වූ අතර, මධුර මහතා හිඟ මුදලෙන් අඩක් ලබන මාසයේ ගෙවීමට පොරොන්දු විය. ඒකනායක මහතා පැවසුවේ, තමාගේ හිඟයට දඩ මුදලක් අය කරන බැවින්, තමා එම දඩ මුදල ද සමඟ සියළු මුදල් හැකි අවස්ථාවක ගෙවන බවත්, එතෙක් දඩ මුදල් එකතු කිරීම ගැන තමාගේ විරුද්ධත්වයක් නොමැති බවත් ය. 


ඉන් අනතුරුව වත්මන් නිලධාරී මඬුල්ල වන,

සභාපති - මධුර ගුණවර්ධන

ලේඛම් - කමල් චන්දන

භාණ්ඩාගාරික - චතුර විජේකෝන් 

ඇතුළු සියළු නිලධාරීන් වෙනුවට නව නිලධාරී මඬුල්ලක් පත් කර ගැනීම සිදු විය. 


හිටපු සභාපති මධුර මහතාගේ ආදර්ශවත් කැපවීම මෙහිදී ඉහළින් අගය කෙරුණු අතර, විශේෂයෙන් දෙහිඕවිට නගරයේ කළ පිරිසිදු කිරීම අප සමිතියේ ගරුත්වය ඉහළ නැංවූ අවස්ථාවක් බව සඳහන් විය. 


පසුගිය වසර වලට වඩා වැඩි උනන්දුවකින් තනතුරු සඳහා යෝජනා ඉදිරිපත් වූ අතර, එම මහත්වරු වෙනදාට වඩා උද්‍යෝගයකින් එම තනතුරු භාර ගත් බවද කැපී පෙනුණි. 


නව නිලධාරී මඬුල්ල මෙසේය. 


සභාපති - නිශාන්ත කුමාර

ලේඛම් - කමල් චන්දන

භාණ්ඩාගාරික -  සරත්චන්ද්‍ර

උප සභාපති - රන්ජිත් රත්නායක

උප ලේඛම් - සරත් හේමචන්ද්‍ර

උප භාණ්ඩාගාරික - ඉන්දික නිශාන්ත

ගිණුම් පරීක්ෂක - ජගත් ස්වර්ණතිලක

ආයෝජන අංශයේ කලමණාකරු - ජයසිරි ලසන්ත

ආයෝජන අංශයේ සහායක කලමණාකරු - බන්දුල ප්‍රේමරත්න


කාලවේලාව ඉක්ම ගොස් තිබූ නිසා ඥාන දර්ශන වැඩසටහන හෝ යෝජනා හා සාකඡ්ඡා වාරය නොපැවැත්වුණු අතර, කමල් මහතාගේ පවුලේ අය විසින් සූදානම් කර තිබූ අතිශයින් ප්‍රණීත රාත්‍රී ආහාරය භුක්ති විඳි සාමාජිකයින් රාත්‍රී 10.30 පමණ වන විට නික්ම ගියහ. 


කෙසේ වෙතත් 2024 වසරේ නව නිලධාරී මණ්ඩලය යටතේ අඹයහළු සංසදය වඩාත් සාර්ථක ගමනක් ගමන් කරනු ඇතැයි අප සැම බලාපොරොත්තුවේ පහන් දල්වා බලා සිටිමු. 

Monday 17 July 2023

දෙහිඕවිට නගරයේ කාණු පද්ධති පිරිසිදු කරමින් සිදුකල ඩෙංගු මර්ධන මහා ශ්‍රමදානය

 

දෙහිඕවිට අඹයහලු සංසදයේ මෙහෙය වීමෙන්, මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සභාව, මහජන සෞඛ්‍ය කාර්යාලය, පොලිස් ස්ථානය, වෙළඳ සංගමය, කරිටාස් සංවිධානය , සිංහ සමාජය , ආගමික සිද්ධස්ථාන, දෙහිඕවිට ජනතාව , බැංකු ඇතුලු ව්‍යාපාරික ප්‍රජාවගෙ ,සහ බොහෝ සංවිධාන සහ ජනතාවගේ එකමුතු සහයෝගයෙන් ඩෙංගු මර්ධන මහා ශ්‍රමදානය,කාණු පද්ධති පිරිසිදු කරමින්, ජනතාව දැනුවත් කරමින්  ඉතා සාර්ථක ලෙස ජූලි 14 වන දින දවස පුරා දෙහිඕවිට නගරයේදී පැවැත්විණි.

අඹ යහලු සංසදය සහ අත්වැල් බැඳගනිමින් සහයෝගය ලබාදුන් සියලු ආයතන, සංවිධාන සහ ජනතාවට අඹ යහලු සංසදයේ  හෘදයාංගම  ස්තූතිය...! 


-------දෙහිඕවිට අඹ යහලු සංසදය ---


Monday 19 September 2022

යකහටුවා කන්ද තරණය කිරීම


පෙරේදා, එනම් 2022 සැප්තැම්බර් මස 17 වැනි සෙනසුරාදා ඉන්දික මහතාගේ නිවසේ පැවති 200 වැනි අඹයහළු සංසද සමිති වාරයේ දී කතා කරගත් පරිදි,  2022 සැප්තැම්බර් මස දහ නම වැනි සඳුදා, එනම් අද දින, උදයේම අඹයහළු සංසදයේ සාමාජිකයින් හා එම පවුල් වල උදවියගෙන් සැදුම්ලත් කණ්ඩායමක් තිඹිරිපොල යකහටුවා කන්ද තරණය සඳහා එක් විය. 

යකහටුවා කන්ද, රජලෙන හා රංපොත ගලේ සිරිපතුල මෙම තරණයේදී දැක බලා ගත හැකි වැදගත් ස්ථාන ලෙස සැලකිය හැක. 

කූඩැල්ලන් ගහණ පරිසරයක් බැවින් ඒ සඳහා පූර්වාරක්ෂක ක්‍රම භාවිතා කළ යුතු අතර, ලිස්සන සුළු ස්ථාන තිබෙන නිසා ප්‍රවේශම්කාරීව ගමනේ යෙදීම අත්‍යවශ්‍ය වේ. 

එදින සතියේ දිනයක් වූ බැවින් හා දිනය හදිසියේ යොදා ගත හැකි වූ බැවින් වැඩි දෙනෙකුට සහභාගී විය නොහැකි වුවද, සමස්ථ පිරිස විසි දෙනෙකු පමණ විය. 

අති රමණීය පරිසරයක සුවය විඳිමින් ගත කළ එම රසවත් පැය කිහිපය සැබැවින් ම අපූරුය.







Saturday 8 January 2022

2022 අලුත් වූ අඹයහළුවෝ

 මාස 8කටත් වැඩි කාලයක් පුරාවට Online රැස්වීම් පමණක් පැවැත්වූ අඹයහළු සංසදය , අලුත් වසරේ අලුත් පියවරක් ලෙස දෙහිඕවිට මල්වරුසාව හෝටලයේ සංවිධානය කැරුණු සමිති වාරය 2022-01-08 වන දින සවස 6.00 සිට පවත්වනු ලැබීය. සාමාජිකයින් විසිදෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් පැවති සමිති වාරයේදී , අලුත් නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කරගැනීම  ද සිදු විය. එම නිලධාරී මණ්ඩලය මෙසේය.

සභාපති : නිශාන්ත රාමනායක 

ලේකම් : සුසන්ත හේරත් 

භාණ්ඩාගාරික : චතුර විජේකෝන් 

උප සභාපති : මධුර ගුණවර්ධන

උප ලේකම් : ඒ. ඩබ්. චන්ද්‍රසේන

ගිණුම් පරීක්ෂක : ජගත් ස්වර්ණතිලක

ආයෝජන අංශයේ කලමණාකරු: නිශාන්ත කුමාර

ආයෝජන අංශයේ ගිණුම් තබන්නා: සරත් හේමචන්ද්‍ර 





පසුගිය වසර දෙක පුරාවටම නොමඳ වෙහෙසක් දරමින් සමිතියේ වැඩ කටයුතු හැකි උපරිම අයුරින් සාර්ථකව ඉටු කළ හිටපු නිලධාරී මණ්ඩලයට නව නිලධාරී මණ්ඩලයේ මෙන්ම සාමාජිකයින්ගේ ද විශේෂ කෘතවේදීත්වය පළ කැරිණි. 


සමිති වාරය අවසානයේ භෝජන සංග්‍රහය වෙනදාට වඩා උත්සවශ්‍රීයක් ඉසිලූ අතර රසවත් ගීත කිහිපයක් ද ගයමින් සැම දෙන එක්ව සතුටු වූහ. 


පසුගිය වසර දෙක පුරාම අත්විඳි අවාසනාවන්ත තත්වය රටෙන් දුරු වී වඩාත් සාර්ථක වසරක් උදා වේවා යන්න අඹයහළු අපගේ ඒකායන පැතුමයි.


Thursday 8 July 2021

මර්වින් රාජපක්ෂ මහතා ගේ අභාවය!


දෙහිඕවිට - අඹයහළු සංසදයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වූ මර්වින් රාජපක්ෂ මහතා හදිසි අනතුරක් නිසා කෙටි කලක් රෝගාතුරව රෝහල්ගත ප්‍රතිකාර ලබමින් සිටියදී අද දින (2021-07-08 වන දින) සිය දිවි සැරිය නිම කොට කාල යාත්‍රා කර ඇත. 

මේ පිළිබඳව අප සංසදයේ සියළු සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාතිශය සංවේගය එතුමාගේ  අකල් වියෝවෙන් ශෝකයට පත් එතුමාගේ ආදරණීය බිරිඳ සහ ආදරණීය දූ දරුවන් වෙත ප්‍රකාශ කරමු. 


සොඳුරු මිතුරාණනි! නිවන් දක්නා ජාති දක්වා නැවත හමුවෙමු!

Thursday 31 December 2020

සේදී ගිය 2020

 ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය හේතු කොට ගෙන ශ්‍රීලංකාවේ පුරවැසියන් වූ අප හැමට අපගේ දෛනික කටයුතු සැලකියයුතු පමණින් නවත්තන්නට, කල්දමන්නට හෝ වෙනස් කරන්නට සිදුවිය. 

අඹයහළු සංසදයෙහි කටයුතු වලටද මෙයින් දැඩි බලපෑම් එල්ල වූ අතර, 2020 වසර පුරාවටම සමිති වාර 5-6 කට වඩා පැවැත්වීමට නොහැකි විය. එසේ වුවද,  අපහසුතාවට පත් පවුල් විසි ගණනක් සඳහා වියලි ආහාර මල්ලක් ප්‍රදානය කිරීමටත්, මුරුත්තෙට්ටුව පන්සලේ අගොස්තුවේ අධි පෝය දින උපාසක දානය පිරිනැමීමටත් අප සංසදයට හැකි වීම අප හට සතුටු විය හැකි පුණ්‍යකර්මයන්‍ වේ. 

සාමූහිකත්වයෙන් සත්භාවයෙන් ඉදිරියට ගමන් කරන අප හට, එළැඹෙන 2021 වසරේදී වත් සියළු සමිති වාර පැවැත්වීමට හැකිවේවායි පතමු..


Wednesday 25 December 2019

අම්පාර සංචාරය - 2019

2019 වසර අවසානයේ යෙදුණු අම්පාර සංචාරය අඹයහළු පවුලේ සතුට - මිහිර වැඩි කළ සුන්දර සංචාරයකි. සමන් අමරසූරිය ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයේ අපූරු උත්සාහයේ ප්‍රතිඵල අත්විඳින්නට සොබා දහම ද අපට ඉඩ දුන්නේ.. අධික වර්ෂාව මැද  වීම වෙසෙස් සිදුවීමකි. 

දෙසැම්බර් 20 වැනි දින උදෑසන දෙහිඕවිටින් පිටවුණු අප උදෑසන ආහාර වේල ලබා ගත්තේ බුත්තල දෙමටමල් විහාරයේදී ය. ඉන් අනතුරුව මඟුල් මහා විහාරය නැරඹූ අප දිවා ආහාරයෙන් අනතුරුව ආරුගම් බොක්ක ආසන්නයේ මුහුද තරමක් රළු වුවද, මුහුදේ නෑමට පසු නොබෑවෙමු.

පසු දින මුලින් ම බුද්ධංගල  වැඳ පුදාගත් අප, දෙවනුව නැවතුනේ.. ඉතිහාසයේ ඛේදනීය සිදුවීමක් සිදු වූ අරන්තලාවේ ය. එය සත්තකින් ම හද කම්පා කරවන එහෙත් සෑම ලක් වැසියෙකු ම දැකිය යුතු දසුන් පෙළකි.  අනතුරුව මහඔය උණුවතුර ලිං වල පහස ලැබූ අප දඹානේ වැදි ගම්මානය ආසන්නව දිවා ආහාරය ගෙන ගම්මානය ද නරඹා.. සොර බොර වැව ද නරඹා.. රෑ දෙගොඩහරියේ නිවෙස් වලට ආවෙමු. 

පහත දැක්වෙනුයේ එහි මතක සටහන් කිහිපයකි.